Friday, June 27, 2008

දඩිං බිඩිං ඩෝං

සුදර්ශන ගුණවර්ධන

පසුගිය සඳුදා ලාංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් සිදුවිය. රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන සබරගමුව පලාත් සභා මැතිවරණයේදී තම මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන් ඡන්දයට තරග නොකරන බව ප්‍රකාශ කිරීමයි.

ලංකාවේ එක් එක් මාධ්‍ය පළ කරන්නේ තමන්ට අවශ්‍ය කෑල්ල බැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණයෙන්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. එහෙත්,

1. එක්කෝ සන්නස්ගල මහතා තරග කිරීමට කළින් කැමැත්ත පළකර, පසුව යු. ඇන්. පී.ය ඇන්නවීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා අස්වීම හෝ
2. නැත්නම් සන්නස්ගල මහතාගේ කිසිම අනුදැනුමක් නැතිව යූ. ඇන්. පි. ය ඔහුගේ නම යෝජනා කර ඇති අතර ඒ හේතුව නිසා ඔහු ඉල්ලා අස්වීම.

යන කරුණු දෙකෙන් එකක් මේ සඳහා බලපාන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය. මේ දෙකෙන් කෝක වූවත් එයින් පෙනෙන්නේ ඊළඟට ආණ්ඩු බලය ගන්නට බලාපොරොත්තුවෙන් සිටින යූ. ඇන්. පි. යේ බංකොලොත් භාවයයි. ලංකා ඉතිහාසයේ සමහර විට පළමු වතාවට පක්ෂයක් පුද්ගලයෙකු ඉදිරියේ නීච වී ඇති අතර සන්නස්ගල මහතා ප්‍රධාන පක්ෂ දෙකමත්, රත්නපුරේ දේශපාලකයනුත්, මහ ඇමති ධූරයත් ඇති පදම් කෝචොක් කර ඇත. සන්නස්ගල වැනි ජෝකර් මහත්වරුන්ට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ජෝක් කිරීමට හැකියාව ලැබීම අහඹු සිදුවීමක් නොවේ. එබැවින් එහෙම වෙන්නෙ ඇයි කියා ප්‍රශ්න කිරීම අනාගත දේශපාලනයටත්, ප්‍රජාත්‍රන්තවාදී පාලන ක්‍රමයටත් සුබදායක වනු ඇත. අපි පැරණි කතාවක් විමසා බලමු. 1977 මැතිවරණයේදී විපක්ෂ නායක වශයෙන් මැතිවරණය මෙහෙයවූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. එවකට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ සමහර හිතවතුන් ජයවර්ධන මහතාට සහය පිණිස ඔහුගේ වේදිකාවට ගොඩවිය. ඔවුන්ට අවශ්‍ය වූයේ පැජරෝ ලබාගැනීමට නොව සිරගතව සිටින තම නායකත්වය නව රජයක් යටතේ නිදහස් කර ගැනීමය. ජයවර්ධන මහතාද සිටින වේදිකාවක ජනතාව ඇමතූ ජ. වි. පෙ. සගයෙක් කියා සිටියේ අප මේ මොහොතේ යූ. ඇන්. පී. යට උදව් කළත් ඔවුන්ද රටට අහිතකර මාර්ගයක ගියහොත් නැවත වතාවක් ආයුධ ගෙන කැරළි ගසන බවයි. ජේ. ආර්. ගේ කතා වාරය එළැඹිණි. ඔහු මෙසේ කීවේය. ‘ඒ කළින් කතා කළ මහත්තයා කිව්වා අපේ ආණ්ඩුවක් යටතේත් කැරළි ගහනවා කියලා. මම ඒ මහත්තයට කියන්න කැමතියි හැංගෙන්න දැන්මම ගල් ගුහාවක් ලෑස්ති කරගන්න කියලා.’’ ජේ. ආර්. 5/6 ක බලයක් සහිතව මැතිවරණය ජයග්‍රහණය කළේය. තමන්ට කොතරම් පාඩු සිදුවුණත් තමන්ගේ වේදිකාවේ සිට තමන්ට චන්ඩි පාට් දැමීමට ඉඩ නොදීමට තරම් ධෛර්යයක් ජේ. ආර්. ට තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන විට ඔහු සිටියේ තම ප්‍රතිවාදී අපේක්ෂක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වඩා අවාසිදායක තත්ත්වයකය. ලංකා ඉතිහාසයේ තේරී පත්වූ සෑම විධායක ජනාධිපතිවරයෙකුම එසේ පත්වූයේ අගමැති ධූරය දරමින් බවත් කිසිදු විපක්ෂ නායකයෙකු විපක්ෂ නායක පුටුවේ සිට ජනාධිපතිධූරයට පත්වී නැති බවත් යන මිත්‍යා විශ්වාසය හැරුණු විට බමරය කැරකුනේ සෑම අතින්ම රනිල්ගේ පැත්තටය.

1. රනිල්ට පක්ෂ නායකත්වය හිමිව තිබුණු අතර මහින්දට පක්ෂ නායකත්වය හිමි නොවීය.
2. රනිල්ට ජාත්‍යන්තර ප්‍රජාවෙහි ආශිර්වාදය හිමි වූ අතර මහින්ද එම ක්ෂේත්‍රයට අමුත්තෙකු විය.
3. රනිල්ට සුළුතර ජාතික හා සුළුතර ආගමික ජන කොටස් වලත් සුළුතර ජාතික පක්ෂ වලත් සහය හිමිවූ අතර මහින්ද කෙරෙහි සුඵතර පක්ෂවල විශ්වාසයක් නොතිබිණි.
4. රනිල්ට ව්‍යාපාරික ප්‍රජාවේ හා පෞද්ගලික මාධ්‍යවල සහයෝගය නොඅඩුව ලැබුණු අතර මහින්දට ඔවුන් අතර විශ්වාසයක් නොතිබිණි.

රනිල් තරගයට මුහුන දුන්නේ සෑහෙන විශ්වාසනීය බවකින් යුක්තවය. ඔහු වෙළඳපොල ආර්ථිකය ඉදිරියට ගෙනයෑම හා ජාතික ප්‍රශ්නයට ෆෙඩරල් මාදිලියේ විසඳුමක් ලබාදීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. බොරුවට හෝ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණ, ෆෙඩරල් ප්‍රතිපත්තිය ඉවතට දමන්නේ නම් තම සහය ලබාදෙන බවට ප්‍රකාශ කළ ජාතික හෙළ උරුම පක්ෂයේ සහයෝගය ප්‍රතික්ෂේප කළේය. නිල නොවන ආරංචි මාර්ග අනුව තමන් බලයට පත්වුවහොත් අන්තර්වාර ස්වයංපාලන අධිකාරියක් උතුරු නැ‍ෙඟනහිර පළාත සඳහා ලබාදෙන ලෙසට එල්. ටී. ටී. ඊ ය කළ යෝජනාවද ප්‍රතික්ෂේප කළේය. මීට පටහැනිව මහින්ද තම මැතිවරණ ව්‍යාපාරය ඇරඹුවේ අවිනිශ්චිත භාවයකිනි. ආණ්ඩුව තුළ සිටි එළෙව්වත් නොයන පරණ සම සමාජ, කොමියුනිස්ට් පක්ෂවල සහය ඔහුට කොහොමත් ලැබිණි. (අනේ ඔවුන් මේ නහින දෙහින කාලයේ වෙන කොහේ කියල යන්නද ? ආණ්ඩුවෙන් පිට සිටි රැඩිකල් වාමාංශිකයා වූ වාසුදේව නානායක්කාර මහතා පැරණි මිත්‍රකම මත ඔහුට සහය දුන්නේය. වෘත්තීය සමිති නායකයන්ටත්, මාධ්‍යවේදීන්ටත්, සමහර එන්. ජී. ඕ. නායකයන්ටත් මහින්ද ලොකු අයියා කෙනෙකු සේ සැළකුන හෙයින් ඔවුනක්ගේ සහයෝගය මහින්ද වෙත විය. නමුත් මේ පදනම මත ඡන්දය දිනීම අපහසු බව දන්නා තෙම්පරාදු වූ දේශපාලකයෙකු වූ මහින්ද ජනතා විමුක්ති පෙරමුණ සමඟද ගිවිසුමක් ගැසුවේය. මේ වන විට යන එන මං නැතිව සිටි හෙළ උරුමය තමන් වෙත පැමිණි පසු ඔවුන් සමඟද ගිවිසුමක් ගැසූ ඔහු මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය ( ? )ද එකතු කර ගත්තේය.

ජාතිවාදයට විරුද්ධ වීම තම එකම අනන්‍යතාවය බවට පත්කරගෙන සිටින වාමාංශිකයන් සහ වෘත්තීය සමිති නායකයන් මෙහිදී කලබල විය. තමනට අනුව ශ්‍රීලනිප යේ වාමාංශය නියෝජනය කරන මහින්ද ජාතිවාදීන්ගේ කොන්දේසි වලට යටත්ව ගිවිසුමක් ගැසීම ඔවුන්ගේ හදවත සසළ කළේය. එවිට මහින්ද අයියා මෙසේ කීවේය.

‘‘කලබල වෙන්න එපා. ඉස්සෙල්ලම ඡන්දය දිනාගෙන ඉන්න එපැයි. ඊට පස්සෙ නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා.’’ වම නොදැන සිටියේ මහින්ද කාටත් දුන්නේ ඔය සහතිකය බවය. කොහොමින් කොහොමින් හෝ මහින්ද කෙස් ගහින් දිනුවේය. මුලින් කළ යුත්තේ කොහොම හරි දිනා ගැනීම බවත් ඊට පස්සේ එන හැටියට මුහුන දිය හැකි බවත් කී මහින්දගේ කතාව නිවැරදි බව ඔප්පු විය. ඡන්දයෙන් පසු විරුද්ධ පක්ෂ සියල්ලම නාය ගිය අතර ඒවා සම්ප්‍රදායෙනුත් කොටස් වශයෙනුත් ආණ්ඩුවට එක්වී ඇමතිකම් ලබාගත්තේය. දැන් කාටවත් ‘‘ සාමය ’’ මතක නැත. ‘‘ ෆෙඩරල් ’’ මතක නැත. ‘‘ ආර්ථිකය ’’ මතක නැත. ‘‘ප්‍රජාතන්ත්‍රවාදය’’ මතක නැත. කොටින්ම සමහරුන්ට තමා කලින් කොන්ඩය පීරපු විදියද මතක නැත.

සහෝදර සමාගම ප්‍රාග්ධන සමුච්ඡනය කරන අතර හැම දෙනාම තමන්ට හැකි පමණින් ජාතික ධනය භුක්ති විඳිති. කලින් කිව් පරිදිම මහින්ද පළමුව කෙසේ හෝ බලයට පැමිණ දැන් තමන්ට අනුව නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි.

දැන්, එක්සත් ජාතික පක්ෂයට සිදුවූයේ කුමක්ද ? වසර 11 ක් විරුද්ධ පක්ෂයේ හිඳ රාජ්‍ය බලය ලබාගන්නට තිබුණු අවස්ථාව නූලෙන් මිස් වූ පසු එම පක්ෂය තුළද විවිධ විපර්යාසයන් සිදුවිය. පළමුව එම පක්ෂයේ හිතවතුන් වශයෙන් සිටි මාධ්‍යවේදීන්ද, සිවිල් සමාජ නායකයින්ද මහින්දගේ පැත්තට ගියේය. දෙවනුව පක්ෂයේ පතුරු ගැලවී නියෝජ්‍යය නායකයා ද ඇතුව මන්ත්‍රිවරු රොත්තක් ආණ්ඩුවට එකතුවිය. තෙවනුව පක්ෂයට පණ දෙන්න වුනත් සිටි ව්‍යාපාරිකයින්ද, මාධ්‍ය ආයතනද මහින්දගේ පැත්තට ගියේය. පක්ෂය තුළ ඉතිරි වූ පිරිසත් යම්දෝ නොයම්දෝ කියලා සිතුණි මට කියමින් බලා සිටින අතර, ඉතිරි අය කල්පනා කරන්නේ කොයි විදියකින් හෝ බලය ලබා ගන්නේ කෙසේද කියාය.

තවදුරටත් ප්‍රතිපත්ති කියා දෙයක් නැතැයි කියන තත්වයට පත්වූ පසු කරන්න බැරි දෙයක් ඉතිරි නොවේ. ඒ නිසා ෆෙඩරල් වාදීන්ගේ සිට ත්‍රස්ත විරෝධීන් දක්වා සියළුදෙනා එකට දමාගෙන කෙසේ හෝ බලය ලබාගැනීමට මහන්සි වෙයි. ඔවුන් තම පරාජයට හේතුව ලෙස දකින්නේ අධිෂ්ථාන සහගත වැඩපිළිවෙලක් ඇතිව මහජනයා සංවිධානය කිරීමට ඇති නොහැකියාව නොවේ. ඔවුන්ට අවශ්‍ය 2005 දී මහින්ද විසින් කළ දේ අද රනිල් ලවා කරවීමටය. වෙනත් වචනයකින් කිව්වොත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ බවට රූපාන්තරණය කර ගැනීමටයි.

සන්නස්ගල වැනි විහිළු චරිත ජාතික දේශපාලනයට ගෙන එන්නේ මොවුන් විසිනි. එසේ කිරීමට ගොස් ඇණ ගැනීම නිසා වළක වැටීමෙන් මොළයට ලාභයක් වන අයුරින් දේශපාලනයට යහපතක් විය. මෙවැනි අමුතුම ආකාරයේ පූට්ටු කිරීම් කරන කේවට්ට පුරෝහිතයන් හැඳින්විය යුත්තේ නව උපයෝගිතාවාදීන් ලෙසය. ඔවුන්ට අනුව දේශපාලනයේ තව දුරටත් පරමාදර්ශ නැත. ඇත්තේ ඒ මොහොතේ නිවැරදි දේ කිරීමයි. ඊළඟ මොහොතේ සම්පූර්ණයෙන්ම යූ ටර්න් එකක් ගසා කළින් කළ දේට ප්‍රතිවිරුද්ධ දෙයක් කළ හැකිය. මේ ජෝකර් මහත්වරුන්ටත් ඔවුන් පුම්බන කේවට්ටයන්ටත් එක දෙයක් කිව යුතුය. අලූතෙන් හදන්නෙත් පරණ එක වැනි ආණ්ඩුවක් නම් මහජනයා ඒ වෙනුවෙන් කඬේ යන්නේ කුමකටද ? එබැවින් දිගින් දිගටම ඔවුන්ට ‘ජනතාව’ බලමුලූ ගැන්විය හැකිවනු ඇත්තේ වනාතෙ’ න් කුළියට මිනිසුන් ගෙන ඒමෙන් පමණි.

පැරණි ජනකථාවක අර්ථය මඳක් වෙනස් කර ගැනීමෙන් ඉහත තත්ත්වය තේරුම් ගැනීමට උපකාරයක් ලැබේ. එකමත් එක රටක මහළු සිංහයෙක් වාසය කළේය. ඔහුට දැන් දඩයම් කර ගැනීමට අපහසුය. ඔහුගේ පුරෝහිත තනතුරට සෙට් වූ නරියෙක් අලූත් සැලැස්මක් ඉදිරිපත් කලේය. ඒ අනුව වනයේ ජීවත් වන ගොනෙකු නරියා විසින් සිංහයා වෙත කැඳවා ගෙන එනු ලැබේ. ඒ ගොනාට සිංහයාගේ මහ ඇමති කම දීම පිණිසය. ප්‍රීතියෙන් පිනා යන ගොනා සිංහ භවනට පැමිණෙයි. බඩගින්නේ සිටි සිංහයා ඉවසිල්ලක් නැතිව ගොනාගේ පිටට කඩා පනී. බිය වන ගොනා පැන දුවයි. තම සැලසුම ගැස්සී යෑම ගැන ලැජ්ජා නොවන පුරෝහිත නරියා නැවතත් ගොනා හමුවට ගොස් කියන්නේ සිංහයා විසින් කරන පිළිගැනීමට බියවී ගොනා පැන ආ එක වරදක් බවයි. මේ ලස්සන කථාවට වශීවන ගොනා නැවතත් සිංහයා වෙත යයි. මෙවර හොඳට කල්වේලා ගන්නා සිංහයා ගොනා මරා දමා ආහාර අනුභවයට පෙර දිය නෑමට යයි. දිය නා ආපසු පැමිණෙන සිංහයා දකින්නේ ගොනාගේ මොළය අතුරුදහන් වී ඇති බවයි. බඩජාරී නරියා එය කා දමා ඇත. එවිට නරියා මෙසේ කියයි. ‘‘ ඇයි දේවයන් වහන්ස මේ ගොනාට මොළයක් තිබුණා නම් දෙවැනි පාරටත් ඔබතුමා ළඟට ඒවිද ?

’’මේ කථාව වර්තමානයට ගැළපූ විට පළමු වටයේ රැවටී ඇත්තේ සිංහයාය. මෝඩ කේවට්ටයන් දෙවන වතාවටද සිංහයා රැවටීමට උත්සාහ ගනු ඇත. නැවත වරක් රැවටුනොත් මොළය තිබේදැයි පරික්ෂා කරගත යුතු වන්නේ සිංහයාය. මේ කතාවේ පූර්වාපර සන්ධි ගළපා අවස්ථා සම්බන්ධය සෙවීම පාඨකයන්ට භාර කරමි

No comments: